2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

ලයිසන්වලට මෙඩිකල් ගන්න මාර යුද්ධයක්

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 174

 

රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයාතනය මගින් ඉදිරිපත් කරන වෛද්‍ය සහතිකය අනිවාර්ය වේ. එය ලබාගැනීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මකව පවතින වෛද්‍ය ආයතනවලට මේ දිනවල විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් ඇතිවන කලහාකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියට මැදිහත් වීමට සිදුවී ඇත. දිනකට පුත්තලම වෛද්‍ය ආයතනයට පැමිණෙන පිරිස අතරින් සුළු පිරිසකට පමණක් වෛද්‍ය සහතිකය ලබා ගැනීමට හැකිවීම එයට හේතුවී තිබේ.

දින කිහිපයක් පැමිණියත් වෛද්‍ය වාර්තාව ලබා ගැනීමට නොහැකි වූ බොහෝ පිරිසක් වූ අතර සිටි එස්. සුදර්ශන් මේ ආකාරයෙන් අදහස් ප්‍රකාශ කරයි.

මම අද ආවෙ හතර වැනි දවස. ඊයේ රෑ හතට විතර ඇවිත් කඩපිලක නිදාගෙන හිටිය. දවස් හතරම එහෙමයි. එහෙම ඉඳලත් මට මේ වෛද්‍ය වාර්තාව ගන්න බැරුව ගියේ මේ වෛද්‍ය ආයාතන පවත්වා ගෙන යන අයගේ අනිසි ක්‍රියා කලාපය හින්දයි.

අපි දවසකට ඉස්සර ඉඳලා ඇවිත් හිටියත් මෙතන ඉන්න නිලධාරීන්ට ඕනා අයට තමයි මුල් තැන ලබා දෙන්නේ. අපි පෝලිමේ ඉන්නවා සමහර අය ආපු සැනින් වෛද්‍ය වාර්තාව අරගෙන යනවා. මම දවස් කුලියට වැඩ කරන්නේ දවස් හතරක් වැඩ නැහැ. රුපියල් පන්දහක් විතර පාඩුයි. දවස් හතරක් කන්න බොන්න කඩවලට වියදම් කරන්න වෙනම මුදලක් ඕනා. වෛද්‍ය වාර්තාව ලබාගන්න කොට රුපියල් දහදාහක් විතර වැය කරන්න වෙලා තිබෙනවා. මේ වගේ වැඩ අපේ රටේ දුප්පත් ජනතාවට කරන හිරිහැරයක්.

මීට පෙර වෛද්‍ය වාර්ථා ගන්න පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලින් හැකියාවක් තිබුණා. දැන් වෙලා තිබෙන්නේ රජයෙන් දිස්ත්‍රික්කයට වෛද්‍ය මධ්‍යස්ථාන එකක් දාලා එක වෛද්‍යවරයෙක් සේවයට යොදවලා තිබෙනවා. දිනකට වෛද්‍ය වාර්තා ගන්න හත් අට සියයක් එනවා. සියයකට විතර දීලා ඉතිරි අයව ආපහු යවනවා. ඒ යන අය පහුවදාත් එනවා ඔහොම දින ගණනක් ඇවිත් තමයි වැඩේ කර ගන්නේ.

ක්ලීටස් දබරේරා මහතා
මම විතරක් නෙවෙයි අපි කිහිප දෙනෙක්ම පාන්දර ආවා මෙතනට එනකොට නොම්බර ඉවරයි කියනවා අපි යනවා. හරිම අසාධාරණයක් වෙන්නේ නොම්බර ඉවරයි කිව්වට වෙනත් ක්‍රමවලින් වැඩේ කර ගන්න අය ඉන්නවා. මොකක්ද මේකෙ තේරුම කියලා අපට නම් තේරෙන්නේ නැහැ. රජයට කරන්න බැරිනම් පුද්ගලික් අංශයට දුන්නහම ඉවරයි. ක්ෂණිකව කර ගන්න පුළුවන්නම් මුදල් වැඩියෙන් ගියත් දුකක් නැහැ.

සල්ලි දෙනවා නම් කිසිම රස්තියාදුවක් නැතුව වෛද්‍ය සහතිකය ගන්න පුළුවන්. තැරුව්කාරයෝ ඕනැතරම් ඉන්නවා. මමත් රුපියල් තුන්දාහක් දීලා පස්ස දොරෙන් වැඩේ කර ගත්තා.

ඇයි ඉතින් සල්ලි දුන්නෙ? 

දවස් තුනක් කුලී වැඩ කළාම රුපියල් 3000 හොයා ගන්න පුළුවන්. දවස් තුනක් රස්තියාදු වෙනකොට රුපියල් පන්දහක් විතර පාඩුයි. කඩෙන් කාලා, මදුරුවො තල තලා පිලේ නිදලා. බැණුම් අහලා අව්වෙ තැපලා දුක් විඳිනවාට වඩා හොඳයි තුන්දාහක් දීලා කර ගන්න එක.

 කතාව හා සේයාරූ  - රෝවන් පෙරේරා පුත්තලම